Header Ads



කඩදොර විහාරය ගැන දන්නවාද


කොත්මලේ ජලාශයෙන් මතුවූ කඩදොර විහාරය.

🔴 ඇත්තටම මොකක්ද මේ කඩදොර විහාරය...

වර්ෂාව අධික කාලවලදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර ගැලීම නිසා කඩදොර සහ ඒ ආශ්‍රිත ගම් අතීතයේ ගංවතුරෙන් යටවූ බව සඳහන් වේ. මෙම ගංවතුර තත්ත්වය වළකාලීමට පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. මෙම ජලාශය ඉදිකිරීමේ මූලික අරමුණ එය වුවත් අවසානයේ මෙම ජලාශය මගින් ජල විදුලිබලය උත්පාදනය සඳහා විදුලි බලාගාරයක්ද එහි ඉදිකරන ලදි..

කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.. එම ජලාශය ඉදි කිරිමේදී යටවී ගිය කඩදොර ගමේ කඩදොර විහාරය වර්ෂාව අඩු කාලවලදී කොත්මලේ ජලාශයේ ජලය අඩුවූ විට ජලයෙන් මතුවී තිබෙනු දැකගන්නට හැකිවේ.

වර්ෂාව නොමැතිව නියං තත්වයක් ඇති දිනවල කඩදොර විහාරය කොත්මලේ ජලාශෙන් මතුවී තිබෙනු දැකගත හැකිවේ..බොහෝ විට මෙය වසරේ එක් කාලයකදී පමණක් දැකගත හැකි දුර්ලභ දසුනක් වීම විශේෂත්වයකි.
විශේෂයෙන්ම සඳහන් කල යුතු කරැණ නම් වසර ගණනාවක් වසරේ වැඩි කාලයක් ජලයෙන් යටවී ඇති මෙම කඩදොර විහාරයේ නටඹුන් හානියක් නොවී තවමත් පැවතීම විශ්මයට කරැණකි. නමුත් තව බොහෝ කලකින් පසුව මෙයද පුරාවෘතයක් වනවා නොඅනුමානයි.

කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.

ඔබත් හැකිනම් කලකදී පමණක් ලැබෙන මේ දුර්ලභ අවස්ථාව ඒ කාලයේදී බලන්න යන්න. නුවර හෝ කොළඹ සිට පැමිණෙවා නම් ගම්පොල පසුකර මඳ දුරක් ගිය විට කොත්මලේ ජලාශයට යන මාර්ගය හමුවේ ..එම මාර්ගයේ කිලෝමීටර් 18ක් පමණ ගිය තැන කොත්මලේ ජලාශය හමුවේ.
පොදු ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නවා නම් ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වන බස් රථවල මෙම ස්ථානයට යා හැකියි..

කඩදොර විහාරය , කඩදොර ගම් ජලාශයට යට වෙන්නට පෙර අතීතයේ කෙසේ තිබෙන්නට ඇත්ද.. කඩදොර ගමේ ජනතාව කොතෙක් එය වැඳපුදා ගන්නට ඇත්ද.. නමුත් කඩදොර විහාරයට ජලාශයට යටවෙන්නට කලින් එය වැඳපුදා ගත් පිරිසට වඩා පිරිසක් දැන් දැන් ජලාශයෙන් යටවී ගිය , නැවත මතුවූ කඩදොර විහාරය වැඳපුදා ගෙන නැරඹීමට පැමිණෙන බව දැකගත හැකිවේ...

සටහන සහ ජායාරූප : ශශින් විජේතුංග

කියවලා අනිත් අයටත් බලන්න ශෙයා කරන්න

No comments