Header Ads



කෙටිකතාව - ලැබීම

 



නුවේද් බලා ඉන්නේ තම වම්පසින් ඉන්නා ඈ දෙසය.ඇත් දළ පැහැ උඩරට ඔසරියෙනුත්,හංස පූට්ටු මාල හතෙනුත්,ඉර හද දෙපස රදවා,නළල් තැල්ලෙනුත් හැඩ වැඩ වී ඉන්නා ඈ සැබැවින්ම සුරගනක් වාගේමය.පෝරුවෙන් ඉදිරිපස බලාගෙනම ඉන්නා නාරාගේ මුව මත මන්දස්මිතයකි.නුවේද් හෙමින් ඈගේ සුරත තම අතැගිලි අතරට මැදි කර ගත්තේ ය.


"වේද්..අත අරින්න.පෝරුව උඩ පිළිවෙලට ඉන්න."


ඈ කියන්නේ ඉදිරිපස බලාගෙනම හෙමින් කුටු කුටු ගාමිනි.


"මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි."


වේද් කියන්නේ ද පහත් හඩිනි.


ඇත්ත ය.මේ සුරත අල්ලා ගත්තේ අත හරින්නට නොවේ.සංසාරගත බැදීම් කොපමණ තිබුන ද නවතින්නේ උරුම තැනය.ඉදින් උරුමය ඈ දෑතම ය.


🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻


වේද් උන්නේ මුහුද දෙස බලා ගෙනමය.ඉර ඈත මුහුදේ ගිලෙන්නට ආසන්නය.මුළු අහසම රතු පාටින් පාට වී ඇත.මුහුද නම් කවදාත් මෙන් නිශ්චලය.රළගෙඩි වෙරළ මත බිදිමින් හිදි.මුහුද දෙස බලා හිදීම භාවනාවක් වාගෙය.කොපමණ වේලා බලා උන්න ද එපා වන්නේ නැත.


වේද් කවදත් මුහුදට පෙම් බැන්දේය.කුමක් දෝ සැනසීමක් වෙරළේ හැපී බිදි යන රළ මත ඔහු දකින්නේය.ගැඹුරු මුහුදේ සිට රැළි නංවමින් එන ඕනෑම රළක් අවසන නතර වන්නේ වෙරළේ හැපී සුදෝ සුදු පෙණ පිඩු මතින් බිදි ගොසින් ය.


ජීවිතයත් එලෙසමයි කියා වේද් සිතන්නේය.ජීවිතය ද දිනෙක වෙරළේ හැපී බිදි යන රළ මෙන් නැති වී යන්නේ ය.ඉදින් ජීවත් වන කෙටි කාලය සරලව,මතක් එකතු කරමින් ගෙවා දමන්නට වේද්ට සෑමදාකම උවමනා වූයේ ය.


වේද් ගෙවී ගිය අවුරුදු කිහිපයකම පෙම්වතියන් කිහිපදෙනෙක්ම ඇසුරු කළ බව පුදුමයට කරුණක් නොවන්නේ ය.වේද් එතරම් කඩවසම් තරුණෙයෙකි.ඕනෑම තරුණියක් කැමති ආකාරයේ කඩවසම් පෙනුමක් ඔහුට ඇත්තේ ය.පෙනුම,සල්ලි,සමාජ පිළි ගැනීම මේ කිසි දෙයකින් වේද්ට අඩුවක් වූයේ ද නැත.රටේ දක්ෂම අධි නීතිඥ පියාත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරියක වූ මවත් නිසා වේද්ට සියල්ල ලැබුනේ නිරායාසයෙනි.


නමුත් ගෙවී ගිය කාලයේ උන් පෙම්වතියන්ට වේද් පෑහුනේ ද නැත.වේද්ට එම පෙම්වතියන් පෑහුනේ ද නැත.පෙනුම,සල්ලි මත ළං වූ එම ගැහැණු සියල්ලක්ම පාහේ අතිශය සංකර ජීවන රටාවකුත්,සමාජය ඉදිරියේ වෙනමම ප්‍රති රූපයකුත් නඩත්තු කිරීමට කටයුතු කළ අය වූහ.


මුනගැහෙන සෑම මොහොතක ම ජනප්‍රියම අවන්හල් වලට යෑමත්, මිලාධික ඇඳුම් පැළඳුම් ගැනීමට සාප්පු සවාරි යෑමත් එම සියලු පෙම්වතියන් ගේ වූ පොදු ලක්ෂණයකි.නමුත් වේද් සරල,සැහැල්ලු ජීවිතයක් ප්‍රිය කළේ ය.


වේද් ගේ දැහැන බිදුනේ ඈතකින් ඇසෙනා මියුරු සංගීත නාදයකට ය.හිස ඔසවා බලන්නේ සංගීත නාදය ඇසෙන මානයක් සොය ගන්නට.කිහිප වතාවක්ම වෙරල තීරය දිගේ ඇස් යවා අවසන ඇස් නතර වන්නේ අත් හීනි පටිදැමූ,විලුබ තෙක් දිගු ළා රෝස පැහැති ගවුමකින් සැරසී,මදක් දිගු කොණ්ඩය දෙපැත්තෙන් අල්වා සමනල කටුවක් ගැසූ සුරංගනාවියක් අසළය.වයලීන තත් අපූරුවට පිරිමදිමින් ලයාන්විත සංගීතයකින් හිත නිවනා රුවැත්තිය දෙස බලා හිදීමත් භාවනාවක් වාගේ ය.


වේද් ඇසි පිය නොහෙළා බලා හිදින්නේ ඈ දෙසමය.ගෙවී ගියේ තත්පර කිහිපයක් පමණි.එක්වරම වේද්ගේ ඇස්වලට ඈ මුවා කරමින් කොලු නඩයක් කඩා වැදුනේ පාපන්දුවක් ද සමගිනි.


තත්පර කිහිපයක් හිද වුන් තැනම සිට ඈ නෙතු වලට හසු කර ගැනීමට දැරූ උත්සහය සාරථක වූයේ නම් නැත.අවසන කලබලයෙන්ම නැගී සිටියේ ඈ මග හැරේ යැයි බියෙනි.


නමුත් ඒ වන විටත් ප්‍රමාද වැඩි ය.රැවැත්තිය යන්නට ගොසින් ය.


තුන් සිතම මොහොතකට සොවින් බර විය.කුමක්දෝ හේතුවකට ඈ සිතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරා යැයි වේද්ට සිතුණි.කෙදිනකවත් නැති ලෙස තමාගේ සිත ගැස්සුන බව පමණක් වේද්ට දැනුණි.තත්පර කිහිපයකට දෑස් පුරා විද ගත් ඈ අහිමි කර ගන්නට බැරි ලෝභකමක් ඔහු සිතේ වුණි.


කෙසේ හෝ ඈ සොයා ගන්නට වේද් සැලසුම් සකස් කර අවසානය.හෙට සිට සෑමදාකම වෙරළ තීරයට පැමිණීම එම සැලසුම් අතර මුල් තැනය.ඇගේ පින්තූරයක් හෝ ගැනීමට නොහැකි වීම ගැන වේද්ට තමා ගැනම දැනුනේ තරහකි.


🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻


වේද් උන්නේ සරසවියේ පොත් කිහිපයක් තෝරමිනි.තෝරා ගත් පොත් කිහිපය ද අතැතිව මුදල් ගෙවීමට යන අතතුර ඇස් නැවතුනේ පෙරදින දැකි තරුණියගේ හැඩරුව ඇති තරුණියක් අසළ ය.ඇය උන්නේ යෙහෙළියක් සමග පොත් තෝරමිනි.හොදින් බලා ගැනීමටත් වචනයක් කතා කොට බැලීමටත් සිතා වේද් හෙමි හෙමින් ළං වූයේ ඈ අසළටය.


"එක්ස්කියුස් මී"


විශ්වාස කරන්න එහි උන්නේ පෙර දින දැකි තරුණියයි.වෙනසකට වූයේ පෙරදින හැද උන් දිගු වෙනුවට දණ හිසෙන් අගල් කිහිපයක් උඩට වන්නට හැද උන් ගවුමත් නිදහසේ කඩා දමා තිබූ කොණ්ඩයත් පමණි.පෙරදින නොදැක්ක නමුදු ඒ කොණ්ඩයේ අතරින් පතර පාට කර තිබූ අතර ලා පැහැති තොල් ආලේපනයක් ඈ ගල්වා උන්නා ය.


වේද් උන්නේ සතුටින් ඉපිළෙමිනි.ඈ සොයා ගැනීමට සැලසුම් මහ හුගක් තිබූ නමුදු මෙතරම් ඉක්මනින් ඈ හමු වේ යැයි කිසිලෙස බලාපොරොත්තු වූයේ ද නැත.


"යර්ස්"


තරුණිය ඉන්නේ වේද් කවුරුන් දැයි අදුනා ගත නොහැකිව විමසිලිමත් බැල්මක් පා කරමිනි.


"මං මේ මිස් ඊයේ බීච් එකෙදී දැක්කා.වයලීන් එකක් ප්ලේ කර කර ඉන්නවා.හරිම ලස්සනට ප්ලේ කරා"


වේද් කියන්නේ ඇස් වලින් පවා හිනා වෙමිනි.


"අහ්..".


එවර තරුණිය කල්පනාවක නිමග්නව ය.


"අහ්...නම කියන්න බැරි උනානේ.මං නුවේද්..වේද් කියලා කතා කරන්න"


වේද් පවසන්නේ අතක් දිගු කරමිනි.


"මං කියාරා.යාරා කියන්න"


යාරා පවසන්නේ අතට අත දෙමිනි.


"මේ මගේ නම්බර් එක.අපිට හොද යාලුවෝ වෙන්න පුලුවන් වෙයි."


වේද් පවසන්නේ දුරකථන අංකය සහිත කාඩ් පතක් දිගු කරමිනි.


"Yeah..sure"


යාරා දුරකථන අංකය ගන්නේ පහව නොගිය පුදුමයක් සමගිනි.


පළමු හමුවීමෙන් වැඩි කාලයක් ගෙවී යාමට මත්තෙන් වේද් සහ යාරා පෙම්වතුන් වුණි.දෙපාර්ශවයේම ආශිර්වාදයෙන් විවාහයට දින නියම වූයේ ද ඉක්මනින් ය.මේ සියල්ලටම ගත වූයේ තුන් මසක් පමණි.


"යාරා ඇයි ඔයා එදා ඇදන් හිටියා වගේ දිග ගවුම් අදින් නැත්තේ?අනික එදායින් පස්සේ කවදාවත් ඔයා වයලීන් ප්ලේ කරෙත් නෑනේ.මං කොච්චර කියනවද වයලීන් එක ගේන්න කියලා"


වේද් කියන්නේ  නෝක්කාඩුවටය.


"ඔයා ආස නම් මං අනිත් දවසේ ඒ ගවුම ඇදන් එන්නම්කෝ."


යාරා කියන්නේ වේද්ට තුරුළු වෙමිනි.


"ඇයි වයලීන් ප්ලේ කරන් නැත්තේ"


වේද් ආයේම අසන්නේ ය.


"ඔහ්..කමෝන් වේද් බේබි..ඒක සප්‍රයිස් එකක්.වෙඩින් එක දවසට බලා ගන්න පුලුවන්"


යාරා කියන්නේ වේද් වෙතින් මුහුණ සගවමිනි.


යාරා අසල කුමක් දෝ වෙනසක් වේද්ට දැනෙන්නේ ඈ අදුනා ගත් දිනවල සිටමය.කුමක් දෝ වෙනසක් සමග මුසු වූ හිස්තැනක් වේද්ට දැනෙන්නේය.යාරා විවාහයට මෙපමණ ඉක්මන් වූයේ මන්දැයි පවා වේලාවකට වේද්ට සිතා ගත නොහැක.


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀


"යාරා  වෙඩින් ප්ලෑනර් හම්බෙන්න යන්න ඕනි නේද?මං දැන් එනවා"


වේද් කියන්නේ වාහනය පාරට දමමින් යාරා අමතමිනි.


"අහ්..වේද් මං ගෙදර නෙවෙයි.ඔයා ගෙදර එන්න එපා.කෙළින්ම එතනට එන්න.මං එතනට එන්නම්."


යාරාගේ කටහඩෙහි කලබලයක් ද ගෑවී ඇති සේය.නමුත් එය ගණන් නොගෙනන වේද් වාහනය පැදවූයේ යාරාගේ නිවසටය.


වේද් උන්නේ යාරාගේ නිවසේ ගේට්ටුවෙන් වාහනය ඇතුළු කරමිනි.වාහනයෙන් බසින්න වූයේ ද නැත.ඇසුනේ තුන් මසකට පෙර ඇසි මියුරු වයලීන් නාදයයි.වේද්ට දැනුනේ වචනයෙන් කිව නොහැකි තරම් සැනසීමකි.


යාරා පෙරදිනක පැවසූ දෙයක් වේද්ට සිහි විය.එසේ නම් විවාහ මංගල දිනයේ යාරා සැලසුම් කළ පුදුමය මෙයයි.එසේ නම් අද නිවසට පැමිණීමට එපා කිව් හේතුව ද මෙයයි.වේද් වාහනයෙන් බැස ගත්තේ මුවපුරා වූ සතුටකිනි.දැන් යාරාව පුදුම කිරීමට වේලාවයි.


වේද් හෙමි හෙමින් ගෙවුයන දෙසට ඇවිද්දේය.දැහැනකට සම වැදුනාක් මෙන් ඈ වාදනයේ යෙදී හිදී.වේද් සහ ඈ අතර ඇත්තේ අඩි කිහිපයක පරතරයක් පමණි.ඈ වහා වයලීන් වාදනය නවතා හිස එසෙව්වා ය.


නමුත් වේද් බලාපොරොත්තු වූ පුදුමය ඈ වත මත නොවුනණි.


"කවුද?"


ඈ අසන්නේ වේද් ආ දෙස බලාගෙනමය.


"යාරා..මේ මම"


වේද් කියන්නේ මේ යාරාගේ කුමක් හෝ විහිලුවක් යැයි සිතා අඩමානෙ ටය.


එවර යුවතියගේ වත මත පිපුනේ අපුරූ සිනහවකි


"අහ්..මං නාරා..කිනාරා..එතකොට මේ නංගි මැරි කරන්න ඉන්න අයියද?හැමෝටම අපිව පැටලෙනවා මුලින්ම හම්බවෙද්දි..අයියට ඉක්මන්ට අපිව පුරුදු වෙයි"


ඈ සිනහ වෙමින් කියන්නේ වේද් ආ දෙස බලා ගෙනමය.වේද්ට දැණුනේ කුමක් හෝ වැරැද්දක් ඇති බවය.


යාරාට ඉන්නේ අක්කා කෙනෙකු බව කී නමුදු ඈ යාරාගේම නිවුන් සොහොයුරිය බව වේද් සිහිනෙන් හෝ නොසිතුවේ ය.වේද් උන්නේ කිසිවක් සිතා ගත නොහැකිව ය.


දෑස් ඉදිරිපිට ඉන්න යුවතිය ද යාරාගේම කපාපු පළුවකි.කිසිදු වෙනසක් නැත.


"අයියේ..ඔයා ඉන්නවද?"


එවර නාරා අසන්නේ එක් අතක් දිගු කරමිනි.


"මං මේ පැත්තේ ඉන්නේ.ඔයාට...මේ..."


වේද් අසන්නට ගිය දෙය ගිල ගත්තේ එය ඇසිය නොයුතු යැයි සිතුනු බැවිනි.‍යුවතිය ගැන වේද්ට දැනෙන්නේ පුදුමයකි.


"අනේ සොරි අයියේ.නංගි කියන්න ඇතිනේ..මං පුංචි කාලේ වෙච්චි අනතුරකින් තමයි ඇස් පෙනීම නැති උනේ.අනේ සොරි..තාම ඔයා අලුත්නේ.ඉතින් මට ඉන්න තැන හොයා ගන්න බැරි උනා.මං අම්මලව නම් ඉක්මනට හොයා ගන්නවා"


ඈ කියන්නේ පසුතැවිල්ලෙනි.


"අනේ..නෑ.නෑ.සොරි කියන්න එපා."


වේද් කියන්නේ සැබෑවට දැනි අනුකම්පාවකිනි.ඈ තාමත් ඉන්නේ වේද් ආ මග දෙසම බලා ගෙනය.වේද්ට කියා ගන්නට හෝ දෙයක් මතකයට නොනැගේ.


"නංගි නම් ගෙදර නෑ.දැන් එයි.යමු ඇතුළට.අම්මා ඉන්නවා ඇතුළේ.තේ එකක් බොමු අපි"


නාරා කියන්නේ වයලීනය ද ගෙන නැගී සිටිමිනි.එවිටම වාගේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ ඉදිරිපස ගෙදර පුංචි දැරියයි.


"දියාෂා..අද ස්කූල් ගියේ නැද්ද?"


නාරා අසන්නේ දැරියගෙනි.


වේද්ට පුදුමය.තමා අදුරා නොගත් ඈ දැරිය අදුනා ගෙන ඇත.යාරාම නාරා මෙන් රගපෑමක් කරන්නේ දැයි එවර වේද්ට සිතුණි.


දැරිය කුමක් දෝ පවසාම ගෙට ගොස් නැවත යන තුරුම වේද්  උන්නේ සිතුවිලි පැටලීගෙනය.


"මට අඩි සද්දෙන් එන්නේ කවුද කියන්න පුලුවන්.තව ටික දවසකින් අයියා එද්දිත් මට කියන්න පුලුවන්  ඒ එන්නේ ඔයා කියලා.ඇස් නොපෙනුනට කන් හොදට ඇහෙනවා මගේ"


නාරා කියන්නේ වේද් කිසිවක් අසන්නට පෙරමය.


"ඔය දෙන්නම දක්ෂයි නේද වයලීන් ප්ලේ කරන්න?"


වේද් අසන්නේ අසන්නට දෙයක් නැති ම තැනය.


"නංගී ආස නෑ අයියේ.අපි දෙන්නා එක වගේ පෙනුමෙන් විතරයි.නැත්තන් අහසයි පොළොවයි වගේ.අම්මා තමා එහෙම කියන්නේ."


ඈ කියන්නේ සිනාසිසී ය.


"ඒ කියන්නේ යාරා music වලට කැමති නෑ"


වේද්  අසන්නේ ඇස් නළලට ගෙනය.කුමක් හෝ පැටලී ඇති බව දැන් නම්  ප්‍රත්‍යක්ෂය.


"ඔව් නංගි කැමති නටන්න.ඉස්සර ස්කෝලෙ යද්දි ඉස්කෝලෙ යද්දිත් මම කළේ මියුසික්.නංගි කළේ ඩාන්සින්" 


නාරා  කියන්නේ අතීතය සිහිපත් කරමිනි.


වේද්ට යමක් හදිසියේ සිහිවුණි.


"එතකොට අර එදා බීච් එකේ  වයලීන්  එක ප්ලේ කර කර හිටිය ඔයා ද ?"


වේද් අසන්නේ අඩමානයට ය.


"ආහ් ඔව් ඔයා මාව දැක්කද අයියේ? එදායින් පස්සෙ ආයෙම බීච් එකට යන්නත් බැරි වුණා.නංගිගෙ වෙඩින් එක ලඟයිනේ.ඉතින් අපි ගොඩක් බිසිනේ.නැත්තං සතියට සැරයක් එයා මාව එක්ක යනවා"


නාරා කියන්නේ  සියුම් දුකක් ද සමඟිනි.


නමුත් වේද් උන්නේ සිදුවී ඇති සියල්ල සිහිපත් කරමිනි.එසේ නම් එදා තමා වශී වූ වයලීන වාදනයේ හිමිකාරිය මැයයි.


නමුත් අහම්බෙන් සරසවියේදී  හමු වූයේ යාරායි.එසේ නම් යාරා හිතාමතාම තමා රවට්ටවා ඇත.වේද් උන්නේ කේන්තියෙනි.අනෙක් අතට යාරා අසළ සෑම විටම  කුමක් දෝ හිස් බවක්, කුමක් හෝ මගහැරුණු බවක් තමාට දැණුන බවත් සිහිපත් කරන්නේ නාරා දෙස බලා ගෙනමය.


නමුත් පලමු වතාවට  අද දින නාරා හමු වු විට තමාට දැනෙන්නේ තමා පරිපූර්ණ වූ බවකි.කුමක් හෝ වචනයෙන් කිව නොහැකි ශාන්ත බවකි.


වේද් උන්නේ කතාව කොතනින් පටන් ගන්නට දැයි සිතමිනි. ඒත් සමගම වත්තට ඇතුළු වූයේ යාරාගේ වාහනයයි.යාරා  වාහනයෙන් බැස්සා නොව පැන්නා යැයි කිවහොත් නිවැරදි ය. ඇය වහා නාරා හා වේද් උන් දෙසට ඇවිද්දාය.


"වේද් ගොඩක් වෙලාද ඇවිත්."


යාරා අසන්නේ අසාමාන්‍ය ලෙස දැමූ දහඩිය පිස දමමිනි.


"යාරා වයලීන් එක ප්ලේ කරන්න"


වේද් කියන්නේ කියන්නේ නාරා අතින් වයලීනය උදුරා ගනිමින් යාරා වෙත දිගු කරමිනි.


"මං..මට මට..මේ...මංං..."


යාරා ඉන්නේ වචන පටලවමිනි.


"යාරා වයලීන් එක ප්ලේ කරනවා" 


එවර වේද්ගේ හඬෙහි වූ වේගයට යාරාගේ මව ද මිදුලට අවුදින් ය.


"ඉතින් ප්ලේ කරනවා යාරා.තමුසේ දක්ෂයි නේ"


වේද් පවසන්නේ ඔලොක්කුවටය.


"අයියේ ඇයි මේ..ඇයි කෑ ගහන්නේ?"


නාරා අසන්නේ බියෙනි.


"පුතා ඇයි මේ.යාරා වයලීන් ප්ලේ කරන්න දන් නෑ.නාරා විතරයි දන්නේ."


අම්මා ද කතාවට එක්වුණි.


"නෑ...නෑ ආන්ටි මං දන්න යාරා දන්නවා වයලීන ප්ලේ කරන්න.


එහෙම නේද කියාරා?


වේද් අසන්නේ නක්කලේටය.


යාරා උන්නේ වචන එකතු කරමිනි.බොරුවට වැඩි අයුෂ නැත.කෙදිනල හෝ බොරු එළි වෙනවාමය.


"යාරා දෙයියන්ගේ නාමෙන් මට දැන්වත් කියනවා මේ වෙච්චි දේවල් වල අග මුල?ඇයි තමුසෙ මාව රැවැට්ටුවේ?තමුසේ මුල ඉඳලම දැනගෙන හිටියා නේද මම ආදරේ කරේ නාරාට කියලා.ඇයි එහෙම කළේ?තමුසෙගෙ අක්කා නේද ඒ?"


වේද් අසන්ට මහ හඩින් කෑ ගසමිනි.


"මොනවද පුතා මේ කියන්නේ?


සුනීතා අසන්නේ කිසිවක් බේරුම් කළගත නොහැකි තැන ය.නාරා නම් උන්නේ සවන් අදහා ගත නොහැකිවය.


"ඔව්..ඔව්ව්..මං රැවැට්ටුවා.ඔයා පළවෙනියට මුණ ගැහුන වෙලේ මං දැන ගත්තා කියන්නේ අක්කා ගැන කියලා.හැබැයි ඔයාව අක්කිට දෙන්න බැරි ලෝභකමක් දැණුනා මට.දන්නවද පළවෙනි පාරට මං දෙයක් අක්කිට ලැබෙනවට අකැමැති උනේ.හා..මං රැවැට්ටුවා.ඔයා ඇත්ත දැන ගන්න කළින් මට ඕනි උනා මැරි කරන්න.මොකද එතකොට ඔයා ඇත්ත දැන ගත්තත් බෑ මාව දාලා හැරෙන්න.ඒකයි මම හැම දේම කළේ.


ඔයා ඉස්සෙල්ලම මාව බලන්න මෙහෙට එන්න කලින් දවසේ මම අක්කිව පුංචිගේ ගෙදර ගිහින් ඇරියා.මොකද මට ඕනේ උනේ අක්කිව ඔයා ඇස් වලින් හංගන්න.ඔයා මෙහෙට එන එක මම සීමා කළා.මොකද මම දැනගෙන හිටියා ඔයා අක්කිව දැක්ක ගමන් එයාව අඳුර ගන්න විත්තිය.මං මේ හැම දෙයක්ම කළේ ඔයා වෙනුවෙන් වේද්.


ප්ලීස් මාව දාලා යන්න එපා"


අවසාන වචන වලදී යාරාගේ හඩ බිදී ගියා ය.තණ කොළ මතම වැටී හිද ගත් ඈ හෙමින් ඉකි බිදින්නට පටන් ගත්තා ය.


නාරා වහා ඉක්මන් වූවාය.හෙමින් ඇවිද ආ ඈ අත පත ගා යාරා වැටී හුන් තැන සොයා ගත්තා ය.


"නංගී අනේ අඩන්න එපා පැටියෝ..අහන්න..මට වේද් එපා.එයා ආදරේ ඔයාට.ඔයාට එයාව නැති වෙන් නෑ..හරිද?.කෝ ඉතින්..අඩන්න එපා දැන්"


නාරා කියන්නේ යාරා තුරුළු කර ගනිමිනි.


වේද් ගැඹුරි හුස්මක් ගෙන සැහැල්ලු වීමට තැත් දැරුවේ ය. තවත් තප්පර කිහිපයකට පසු ඔහු යාරා ඇමතුවේය


"යාරා මගෙත් එක්ක ගමනක් යන්න එන්න. මට ඕනි ඔයා එක්ක ටිකක් කතා කරන්න"


එසේ පැවසු වේද් කිසිත් නොකියාම කෝ වාහනයට නැගුනේය. ඉන් අනතුරුව දෑතින්ම කඳුළු පිස දා ගත් යාරා ද තප්පර කිහිපයකට පසු  අනෙක් පසින් වාහනයට නැගුණි.


🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻


වේද්  උන්නේ මහ හඬින් හඬන මුහුදට දෙසට නෙත් යොමාය. ඔහුට අඩියක් පමණ පසුපසින් යාරා ද සිටගෙන සිටියා ය. 


"යාරා ඔයා දන්නවා මම ආදරේ කරේ නාරාට.ඔයා ඒක දැන දැනත් මාව රැවැට්ටුවා.ඇත්ත ඔය දෙන්න එක වගේ.ඔයා දැන් අහයි අක්කි මොකද මම මොකද කියලා?


 හැබැයි යාරා ඔයා ළඟ කවදාවත් නොදැනුණු සැනසීමක් මට අද නාරා  ලග දැනුනා.පලවෙනි වතාවට මගෙ හිතට මොකක්දෝ සැනසීමක් දැණුනා නාරා දැකපු පළවෙනි දවසේ. ඉතින් මට ඕනි වුනා හැමදාම ඒ සැනසීම මගේ ගාව තියාගන්න.

 

මම ඔයාට විසඳුම් දෙකක් දෙනවා යාරා. ඔයාට  පුළුවන් හොඳම විසඳුම තෝරගෙන ඒ පාරේ යන්න.හැබැයි මතක තියා තියාගන්න ඔයා තෝරගන්න පාරේ ආපහු කවදාවත් හැරෙන්න බැහැ.ඔයාගෙ ජීවිතේ වගේම ඒ වගේම මගේ ජීවිතේ සතුට තීරණය කරන්නෙ ඔයා.


යාරා ඔයාට පුලුවන්  ජිවිත කාලෙම මගේ ලඟින් ඉන්න. හැබැයි මම කවදාවත් ඔයාට ආදරය කරන එකක් නැහැ. හැබැයි මගේ වෙන්න ඕනි හැම යුතුකමක්ම,වගකීමක් ම මම ඉෂ්ඨ කරනවා.හැබැයි කවදාවත් මම ඔයාට ආදරේ කරන්නේ නෑ. 


එහෙම නැත්තන් ඔයාට පුලුවන් මාව අතාරින්න.මේ දැන් මේ මොහොතේ දිම.ඔයාගේ සතුට වගේම මගේ සතුට තීරණය වෙන්න ඔයා මත.ඔයා ගන්න මේ එක තීරණයකදී එක්කෝ ඔයාට යුතුකම් වගකීම් විතරක් ඉෂ්ට කරන,ඔයාට පුංචිම වත් ආදරයක් නැති සැමියෙක් හම්බ වෙයි.


 එහෙමත් නැත්තං ඔයාට හම්බ වෙයි ජීවිත කාලෙම ඔයා ළඟ හොඳම යාලුවෙක් විදිහට ඉන්න මස්සිනා කෙනෙක්ව. ඔයා කැමති පාරක් තෝරගන්න යාරා.හැබැයි ඔයාගේ තෝරා ගැනීම මම නම් ජීවිතේ කවමදාකවත් ඔයාට බැහැ මට චෝදනා කරන්න මම ඔයාගෙ ජීවිතේ විනාශ කරා කියලා. මොකද තෝරාගැනීම ඔයාගේ."


හුස්මක්වත් නොගෙන කියවා අවසන් කළ වේද් යාරා  දෙස බැලුවේ ය.ඈ උන්නේ බෝල ඇස් වල කඳුළු පුරවාගෙනය.


විනාඩියක්..දෙකක්..නෑ..ඊටත් වඩා නිහඩවම අඩන මුහුද දිහා බලා උන්නු යාරා කතා කරන්න පටන් ගත්තා ය.


"මං ඔයාට යන්න දෙනවා.මිනිස්සු නවතින්නේ තමන්ට උරුම තැන.ඉතිං ඔයාට උරුම තැන අක්කි ළග.හැබැයි ඒ මගේ ආදරේ බොරුවක් නෙවෙයි.මම ඔයාට ඇත්තටම ආදරය කරනවා වේද්.


හැබැයි මේ මොහොතේදී මම ඔයාට යන්න දෙනවා.මොකද මට ඕනේ ඔයා සතුටින් ඉන්නව දකින්න. මට විශ්වාසයි දවසක ඔයා අක්කිට ආදරේ කරනවා වගේම පිස්සුවෙන් මට ආදරේ කරන කෙනෙක් හම්බ වෙයි.


යාරා කියන්නේ එකදු වළකුළක්වත් නැති නිල්ම නිල් අහස දෙස බලාය. 


"දන්නවා යන්න දෙන එක ලේසි නෑ කියලා.හැබැයි අල්ල ගෙන ඉන්න එක තරම් අමාරු නැහැ.මට සමා වෙන්න වේද්.ආදරේ නිසා මිනිස්සු හීනෙකින්වත් නොහිතන ඇති දේවලුත් කරනවා. ඇත්තටම මට සමාවෙන්න වේද්."


ඈ කියන්නේ ඈත මුහුද දෙස බලාගෙනමය.


"ඔය පිස්සු යාරාට ආදරය කරන කෙනෙක් මේ ලෝකෙ කොහෙම හරි ඇති.තැන්කි යු යාරා මාව තේරුම් ගත්තාට.මගේ ආදරේ මට දුන්නට."


වේද් කියන්නේ අපමණ සැනසීමකිනී. 


ඇත්ත.සංසාර පුරුද්දට බැදීම් ඇති උන ද නවතින්නට වන්නේ සංසාර උරුමය ළගය.


යන්න දෙන එක ලේසී නෑ

ආදරේ කළ නුඹට

නමුත් නොවේ නම් මේ දෑත් නුඹේ සංසාර උරුමය

යන්න දෙන්න වෙනවා ඉතින්

අල්ලන් ඉන්න එක අමාරුයි 

නොවේ නම් නුඹ මට හිමි

ඉතින් නුඹ යන්න පෙම්වත

ඈ වෙතට සමුගෙන මගෙන්


හමුවේවී මතු භවයක අපි ආයෙමත්

එදාට වුණොත් මා නුඹේ 

හිනහෙන්න හැකි වේවි මුළු හදවතින්


ඉතින් හිතවත,

යන්න පෙර දෙන්න සැනසුම

එකම එක වරක් නළලත තවරා දෙතොල්..

                             -යාරා-


🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻


හරි මැදින් දෙපළු වී යන පොල් ගෙඩිය සමගින් යුවතිපතීන් පෝරුවෙන් බැස්ස වූයේ දෙදෙනාගේ මාමාවරුන්‍ ය.


වේද්ගේ අතක් නාරාගේ දෑත් වෙලාගෙන තිබුණි.නාරා සිය පියාට පසු අලුත් දෑසකින් ලෝකය විදීමට පටන් ගෙන උන්නාය.


පෝරුවෙන් බැසි නාරා අසළට දෙවෙනි  මනාලියක ලෙස සැරසී උන් යාරා පැමිණියේ නාරාගේ පාවහන් යුගළය ද ගෙනය.වහා බිමට නැමුණු යාරා සිය වැඩිමහල් සොහොයුරිය ට පාවහන් පැලැන්ද වූවා ය.


ඉදින් නාරා සිය උරුමය ළඟ එලෙස නැවතුනා ය.


ජීවිතය එලෙස ය.සියල්ල ම නැතත් බොහෝ දේ සිදුවන්නේ ඉරණම මතය.සිදුවන සියල්ලකම කුමක් හෝ හොදක් ඇත්තේය.නමුත් කිසිම දිනෙක හිමිකමක් නැති දෙයක් තමා වෙත බලෙන් රදවා ගත නොහැක.ආදරෙ නම් නිදහස දෙන්න.එය හිමි නම් අනිවාර්යයෙන් ඔබ ළඟ රැදෙනු ඇත.


නිමි.

ආයෙත් ලියන්නම්.


මන්දි🌼🖤 

No comments