Header Ads



11,000 වරකට වඩා ශ්‍රී පාදයට ගිය නාගරාජා


 මම දැන් අවුරුදු 55 ක් බර උස්සනවා. අවුරුදු 13 දී මම අම්මයි තාත්තයි එක්ක බර අදින්න ආවා. ඒ කාලේ මේවගේ පාරවල් නැහැ. හරිම කළුවරයි. ඉස්සර සිරිපාදේ වඳින්න එන අයට අපි ලාම්පුතෙල් පන්දම් හදලා දෙනවා. එකක් ඒ කාලේ ශත පහයි, දහයයි. වන්දනා කාලෙට හොඳ ගාණක් පන්දම් වලින් හොයා ගන්න පුළුවන්.

අග්ගලා කන් ඩෝං පුතා

හෙළේ නගින් ඩෝං පුතා

අපේ බුදුන් අපි වඳින්ඩ

පෙරළි පෙරළි අපි වදින්ඩ

සිරිපා කරුණා කිරීම සඳහා මළුව වෙත ළඟා වීමට මාර්ග තුනක් තිබේ. ‍කුරුවිට එරත්තන මාර්ගය,රත්නපුර පළාබද්දල මාර්ගය හා හැටන් නල්ලතනින්නයි යන මේ කොයි මාර්ගයත් දූෂ්කර වී ඇත්තේ මළුව වෙත ළඟා වීමට ඇති කිලෝ හය හතක් පාගමනින්ම ගෙවා දැමීමට සිදුවන බැවිනි. මේ නිසාම සිරිපා කරුණා කිරීම සඳහා පැමිණෙන පිරිස් ගමන් විඩාව නිවාගනු පිණිස බුදුගුණ හඟවන කවි කියන්නට පුරුදු සිටියහ. හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරීමේදී මකර තොරණ, සාම චෛත්‍යය, ගඟුල තැන්න, සිත ගඟුල, තැන්න, ඉදිකටුපාන, ගෙත්තම්පාන හා මහගිරි දඹ පසුකළ යුතුය. කිලෝ මීටර හයක මෙම දුර පසුකිරීමේදී නැඟිය යුතු පඩිපේලි ගණන පන්දහස් නවසිය අසූ පහකි. හති ලමින් ඉහළට නගින කොයි කවුරුත් විසි තිස් වතාවක් මඟ නතර වී ගිමන් හරිනු ලබන්නේ එය සිරුරට මහත් වෙහෙසක් ගෙන දෙන කටයුත්තක් බැවිනි. මෙ‍ම විඩාව පසෙකලා බුදු බැතියෙන් ඔකඳ වූ පිරිස් වරක් දෙවරක් පමණක් නොව ඊටත් වඩා වැඩි වාර ගණනක් සිරිපා කරුණා කරන්නට ඇත. මෙම මඟ දුෂ්කර වීම නිසාම සිරිපා වරක් නොවැන්දත් දෙවරක් වැන්දත් මෝඩයකු යැයි කියමනක් ජන වහරට එක්ව තිබේ.

තනිව නඟින්නටත් මහ වෙහෙසක් ගතයුතු ශ්‍රී පාද කන්ද මහ බරක් කරට ගෙන නඟින්ට සිතීමත් විහිළුවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් හැටඅට හැවිරිදි නාග රාජා බර කරට ගෙන වසර පනස් පහක් තිස්සේ සිරිපා නගින්නේය. ජීවින බර බිමින් තියන්නට මහ බරක් කරට ගෙන හැටඅට හැවිරිදි නාග රාජා මහගිරි දඹ නගින්නේ තම දරු පවුල් නඩත්තු කරන්නටය. වාරය අවාරය කිසිවක් රාජාට වලංගු නැත. බරක් ලැබෙන්නේ නම් ජීවත් වීමට ඔහු වෙලාවක් අවේලාවක් නොමැතිව ශ්‍රී පාද කන්ද තරණය කරන්නේය. සිරිපා මඟ ඉහළට අපේ නඩය යමින් සිටියදී හිස් ගෝනියක් කරමත හොවාගෙන පහළට බසිමින් සිටි රජා විඩා නිවා ගැනීමට සීත ගඟුල අසල වාඩිවී සිටියදී මේ විස්තර අප හා පැවසුවේ මුවඟ සිනාහවකින්ද සරසා ගනිමිනි. ‍

“මම දැන් අවුරුදු 55 ක් බර උස්සනවා. අවුරුදු 13 දී මම අම්මයි තාත්තයි එක්ක බර අදින්න ආවා. ඒ කාලේ මේවගේ පාරවල් නැහැ. හරිම කළුවරයි. ඉස්සර සිරිපාදේ වඳින්න එන අයට අපි ලාම්පුතෙල් පන්දම් හදලා දෙනවා. උණ බට කපලා ඒකට පාන්කඩ ඔබලා පන්දම හදනවා. එකක් ඒ කාලේ ශත පහයි, දහයයි. වන්දනා කාලෙට හොඳ ගාණක් පන්දම් වලින් හොයා ගන්න පුළුවන්. ලයිට් ආවට පස්සේ ඒ බිස්නස් එක කරන්න බැහැ. මම මුල්කා‍ලේ මළුවට බරක් අරන් ආවේ රුපියල් 3.00කට. දැන් අපි කිලෝ එකක් මළුව උඩඩ ගේන්න රුපියල් 40.00ක් ගන්නවා. වාරේ අවාරේ කියලා නැහැ. අපි බර උස්සනවා. බරක් උස්සන්න ඕන කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ මාව. බර උස්සන අය පනහක් හැටක් මෙහේ හිටියත් මම තමයි පරණම කෙනා. ඒ නිසා මට කවුරුක් කතා කරනවා. පරණ අය නාගරාජා කියනවා. අලුත් අය කියන්නේ රාජා කියලා.

සිරිපා වන්දනා වාරය ඇරඹෙන්නේ සෑම වසරකම උඳුවප් පුන් පොහෝ දිනයෙනි. පුරා හය මසක් පැවැත්වෙන වන්දනා වාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමා වෙයි. ඉතිරි කාලය හඳුන් වන්නේ අවාරය ලෙසිනි. අධික ශීත හා වැසි ‍පවතින හෙයින් මෙම කාලයේ සිරිපා කරුණා කිරීම අතිශයින් දුෂ්කරය. මෙම කාල දෙකේදීම නාගරාජා සිරිපා නඟියි. “පිටරටවල ඉඳලා ගොඩක් අය අවාරේ සිරිපා වඳින්න එනවා. ඒ අය ශීතල හා වැස්ස ගණන් ගන්නේ නැහැ. ඒ අයට මඟ පෙන්වන්න මම රෑට එයාලත් එක්ක ශ්‍රීපාදේ යනවා. ටෝච් එක අල්ලලා පාර පෙන්නනවා. මොකද ඒ කාලේ ලයිට් නැහැ. එහෙම ගමනක් ගියොත් සුද්දෝ රුපියල් 3000.00 ක් විතර දෙනවා...” නාගරාජා පවසයි.

“මේ දවස්වල රතු අම්බලම ළඟ විශ්‍රාම ශාලාව හදනවා. එතන්ට ගල් වැලි අදිනවා. නල්ලතන්නියේ ඉඳලා රතු අම්බලමට කිලෝ මීටර තුනහමාරක් තියෙනවා. එතන්ට කිලෝ පනහක් ගෙනියන්න රුපියල් 1000. 00ක් ගන්නවා. බරක් අරන් මහගිරි දඹ නගින්න අමාරුයි. රත්නපුර පැත්තෙන් කිලෝ 50ක බරක් අරන් මළුවට එන්න රුපියල් 1500.00ක් ගන්නවා. ඒ පැත්ත පාර ටිකක් අමාරුයි. මේ පැත්තෙන් ගියොත් ගන්නේ 1200. 00යි. ඉස්සර වත්තෙත් වැඩ කරන ගමන් බර ගෙනාවේ. දැන් වත්තේ වැඩට යන්නේ නැහැ. උදේ 7. 00ට විතර වැඩට ඇවිත් පැය දෙක තුනෙන් රුපියල් 1000. 00ක් හොයා ගන්න පුළුවන්.” බරක් කරට ගෙන යන තරුණයකුට බර ලිහිල් කිරීමට සහයදී යළිත් අප හා දොඩමළුවූ නාගරාජා “මේ කොල්ලෝ දවසකට කි‍ලෝ 100ක් විතර උස්සනවා. මමත් හයිය තියෙන කාලේ හොඳට බර ඉස්සුවා. දැන් වයසත් එක්ක අමාරුයි. කිලෝ පනහ උස්සන්නෙත් දෙපාරකට.”

නාගරාජා පවසන පරිදි ඔහු සෑම වසරකම අවාරේ, වාරේ නොතකා අඩුම තරමින් 200 වතාවක්වත් ශ්‍රී පාද කන්ද තරණය කරයි. ඒ අනුව ගතවූ වසර 55 තුළ ඔහු එකොළොස් දහස් වතාවක් පමණ සිරිපා කන්ද නැඟ තිබේ. ඒ තනිව නොව තවත් බරක් සමඟය. ඒ බර වැඩිවන තරමට තම ජීවන බර සැහැල්ලු වන බව රජා පවසයි.

“ශ්‍රීපාද වන්දනා කාලය ආවාම කඩවලට බඩු අරන් එනවා. හැමදාම වැඩ ති‍යෙනවා. සමහර වයසක අයත් ලෙඩවුණු අයත් එනවා ශ්‍රී පාදේ වඳින්න. ඒ අය අපි හතර දෙනෙක් එකතුවෙලා පුටුවක තියලා උඩටම උස්සගෙන යනවා. එක්කෙනෙකුට රුපියල් 2500. 00 ක් 3000. 00 ක් විතර ඒකෙන් ලැබෙනවා. නඟින්න බැරි කෙනෙක් උඩට උස්සගෙන ගිහින් ශ්‍රී පාදේ වඳින්න අවස්ථාව ලබා දුන්නම එයාලා අපිට පින් දෙනවා. එතකොට ඇත්තටම අපේ ඇස්වලටත් කඳුළු එනවා. දන්සල් දෙන අය අවාම එයා‍ලගේ බරත් අපි ගෙනියනවා. ඇත්තටම සමන් දෙවි හාමුදුරුවෝ අපිව බඩ ගින්නේ තියන්නේ නැහැ. හැමදාම වැඩ තියෙනවා. වන්දනා කාලෙට මළුවේ ඉඳන් සතියකට දෙපාරක් සිල්ලර කාසි මලු නල්ලතන්නිය පොලීසිය ලඟට ගේනවා. ඒවගේ කීයක් තියෙනවද දන්නේ නැහැ. අපි කිලෝ 50 ක් ‍පහළට ගේන්න රුපියල් 1000. 00 ක් ගන්නවා. හැට ගණන්වල මම මේ බර ගෙනාවේ රුපියල් 2.50ට. බරක් උඩඩ ගේනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ලොකු වගකීමක්. ඇතුළේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. පරිස්සම් කරලා කියන තැනට ගෙනිහින් දෙන්න ඕන. මේ රස්සාවේ වැඩ තියෙන්නේ විශ්වාසය උඩයි. මම අවුරුදු පනහක් තිස්සේ ඒ විශ්වාසය රැක්කා. දැන් අලුත් අය මේකට ඇවිල්ලා.”

දියණියන් තිදෙනකුගේ හා පුතුන් තිදෙනකුගේ පියෙකු වන නාගරා‍ජා ගේ පදිංචිය නල්ලතන්නියේය. ශ්‍රී පාදය සමඟම ගෙවුණු අඩසිය වසක කාලය තුළ ඔහු එදා හා අද වෙනස හොඳින් අත්විඳ ඇත්තේය. එම මතකය ඔහු මෙසේ විස්තර කළේය. “...ඉස්සර පාරවල් හරිම අමාරුයි. මිනිස්සු ශ්‍රී පාදේ වඳින්න ඇවිත් තිබෙන්නේ දේපොළ එහෙමත් දරුවන්ට ලියලයි. මස්කෙළිය පරණ පාරේ පයින් සෑහෙන දුරක් නල්ලතන්නියට එන්න ඕන. හැමෝම එන්නේ සුදු ඇඳුම් ඇඳලා හරිම භක්තියෙන්. බුදුගුණ තමයි කිය කිය උඩට නගින්නේ. විහිළු කර කර හිනා වෙවී කුණු හරුප කිය කිය දැන් වගේ ඒ කාලේ ශ්‍රී පාදේ නැග්ගේ නැහැ. ඉස්සර මිනිස්සු මේ ගමන ආවේ මස් මාළු නොකා පේවෙලා. ගොඩක් තරුණයෝ දැන් එන්නේ බීලා. පොලීසිය ඒ අයට යන්න දෙන්නේ නැහැ. බජව් දදා සමහරු උඩට යන්නේ. හැමදේම යන්නේ අවරට...”

රාජා දිනකට බරක් ගෙන අඩුම තරමින් කිලෝ මීටර 10ක් වත් ගමන් ගනියි. ඒ අනුව වසරකට ඔහු යන දුර කිලෝ මීටර 3650 කි. වසර 55 න් එය වැඩි කළ විට කිලෝ මීටර දෙලක්ෂකට අධිකය. “බරක් අරන් උඩට නඟිනකොට අපි තුන් හතර පොළක නවතිනවා. පඩිපේලි නගින්නේ සිග් සැග් ක්‍රමේට. එතකොට බර ගෙනියන්න ලේසියි. මොනවා කළත් රෑට කෙන්ඩ නම් පෙරළෙනවා මහත්තයෝ...” කියමින් රාජා නහර ගැ‍ට ගැසී ඇති කෙන්ඩා පෙන්වූයේ ය.

“මට තාම ලෙඩක් නැහැ. පුළුවන් තරම් කල් බර ගෙනියනවා... මම මේ බර උස්සන්නේ ජීවත් වෙන්න.” එසේ පැවසූ රාජා අපෙන් ඈත්ව ගියේ තවත් බරක් ගෙන ඒමට ඇති බව පවසමිනි.

උපුටාගැනීම - දිවයින


No comments