Header Ads



ශ්‍රී පාද අඩවියේ අදටත් සිදුවන හාස්කම්

 


මේ හැමෝම ශ්‍රීපාද පද්මය වදින්න යන කාලයක් ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න කල්පනා කරේ ශ්‍රීපාද අඩවියට අධිපති සමන් දෙවියන් හා අදටත් ශ්‍රීපාද අඩවියේ සිදුවෙන හාස්කම් ගැනයි.ඔබත් මේ ගැන දැනගන්න සම්පුර්ණ ලිපිය කියවන්න.

සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවන්. සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණකරන සිංහල බෞද්ධයයා ඒ වන්දනා ගමනෙ හුඟාක්‌ තැන්වලදී සමන් දෙවියන්ගේ ගුණ වර්ණනා කරනවා, පිහිට අයෑදිනවා. බුද්ධං සරණේ සිරස දරා ගෙන සිරිපාද කඳු මුදුනට හෙමින් සැරේ¨ ළං වෙන වන්දනාකාරයෝ ඒ ගමන් වෙහෙස නිමා ගන්නේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියන ගමන්ම ඒ සිරිපතුල කඳු මුදුනෙ කියන්ට කියලා ආරාධනා කරපු සමන් දෙවියනුත් මතක්‌ කරනවා.

සාසන බාරවූ විෂ්ණු දෙවියනේ-මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ-වඳින්ට යන්නට අවසර ලැබෙනේ

මෙම් කවිය එන්නේ පුරාණ හිමගත වරුණ කියන පොතේ. මෙයින් කියෑවෙන විදිහට අපේ බුදු සසුන බාර වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන් ගෙයි මේ හිම බාර වෙලා තියෙන සමන් දෙවියන්ගෙයි අවසරය, උදව් උපකාර නැතුව මේ නර පණුවන්ට ඒ ගමන යන්ට පුළුවනෑ. දෙවියන්ගෙ අඩවියකට යන ගමන බොහොම ගරු සරු ඇතිව වරම් ලබාගෙන යන්ටත් එපායෑ.

බෞද්ධයන්ගේ විශ්වාසය නම් මේ සිරිපා අඩවිය සුමන සමන් දෙවියන්ගෙම තමයි කියලා. ඒ උනාට ජිනකාලමාලිනී කියන පාලි පොතේ එන විදිහට රාමා ලක්‌ෂමණ, කතරගම, සමන් කියන දෙවිවරු හතර දෙනාම මේ සිරිපාදෙට අධිපතිලු. ඒ මොනව උනත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වගේම වාස භවනෙත් මේ සමනල කඳු වැටියෙම තිබුණු බවයි. මේ කඳු වැටි පෙළ සපරගමු කඳුවැටි කියලත් ඉස්‌සර හඳුන්වල තියෙනවා.

පූජාවලියෙ එන විදිහට නම් සමනල කන්දට අධිපති මේ සුමන සමන් දෙවියොම තමයි. බුදුහාමුදුරුවන්ගේ පළමු වැනි ලංකා ගමන සිදු උනේ මහියයංගණයටනෙ. ඒ කාලෙ ඒ ප්‍රදේශවල යක්‌ෂ ගෝත්‍රිකයො එහෙම ඉඳලත් තියෙනවනෙ. මේ ගෝත්‍රිකයන් අතර සටන් එහෙම සිදු වෙනවා. අන්න එහෙම මහ සටනක්‌ සිද්ධ වෙන අතර වාරෙ තමා බුදුහාමුදුරුවෝ අහසින් වැඩල අහසේම පලක්‌ බැඳගෙන ඉඳලා තියෙන්නේ. බුදුහාමුදුරුවො සෘද්ධි බලයෙන් ගිනි, දුම් එහෙම මවද්දී කව්රුත් බය උනාලු. මේ යක්‌ෂ දමනය කෙරෙන වෙලාව සමන් දෙවියනුත් බුදු බල මහිමෙ දැකල බොහොම පැහැදිල තියෙනවා. එවේලේ බුදුහාමුදරුවන්ගෙන් බණ අහපු දෙවිවරුන් සසර දුකින් මිදුණ කියලා පූජාවලියෙම තියෙනවා.

අපේ සමන් දෙවියනුත් එදා බණ අහල සෝවාන් වෙලා තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි සමන් දෙවියො බුදුහාමුදුරුවන්ගෙන් පූජාව සඳහා යමක්‌ ඉල්ලවලු. ඒ පාර බුදුහාමුදුරුවෝ සිරස පිsරිමැදල කේශධාතු ස්‌වල්පයක්‌ අරන් සමන් දෙවියන්ට දීලා තියෙනවා. මහියංගනය කියන චෛත්‍යයෙ තමා ඒ කේශධාතු නිදන් කළ බව කියන්නේ. ලංකාවෙ මුල් කාලවල හිටපු දෙවියන්ගෙන් සමහර දෙනෙකුට හින්දු උපතක්‌ තිබුණෙ. ඒ උනාට මේ සමන් දෙවියන් නම් පැහැදිලිව සිංහල බෞද්ධ දෙවි කෙනෙක්‌ බව මේ කරුණුවලින් පේනවනෙ. බුදුබණ අහල සෝවාන් වුන එකම දෙවියනුත් මේ සමන් දෙවියන්නෙ.

සමන් දෙවියන් ගැනත් නොයෙක්‌ ජනප්‍රවාද තියෙනවා. රාවණ රජතුමා සීතාව පැහැරගෙන ඇවිල්ල ලංකාවෙ හිරකරගෙන හිටියලුනෙ. සිතා සොයාගෙන රාම කුමාරයයි ලක්‌ෂමනයි ඇවිත් තියෙනවා. රාම සීතාව සොයාගෙන ආපහු ගියේ මේ ලක්‌ෂමන කුමාරය නවත්වලලු. මේ විදිහට නතර කරපු ලක්‌ෂමන පස්‌සේ ලක්‌සුමන වෙලා සුමන වූ බවත් හින්දුන් විශ්වාස කරනවා. ඒ උනාට බුදුබණ අහල සෝවාන් වීම නිසා සුමන සමන් දෙවියන් අපේ දේශීය සංස්‌කෘතියට අයිති බවයි වඩාත් පිළිගත්තු අදහස.

සමන් දෙවියන් නිරූපණය වෙන්නෙත් හරිම ශාන්ත විලාසයකටනෙ. මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. සුදු ඇතාට කියන තවත් නමක්‌ තමයි ඇලි ඇතා. වෙස්‌සන්තර රජතුමා කලිඟු රටෙන් ආපු බ්‍රාහ්මණයන්ට දන්දීල තියෙන්නෙත් ඇලි ඇතෙක්‌නෙ. ඉතා දුර්ලබ ඒ වගේම හාස්‌කම් තියෙන හස්‌ති රාජයෙක්‌ විදිහටනෙ මේ ඇලි ඇතා සළකන්නේ. ඒ නිසා සමන් දෙවියවන්ගේ ඇලි ඇතා බොහොම තේජවන්ත ඇත් රජෙක්‌ වෙන්ට ඕනෑ. සමන් දෙවියන් සුරතින් සුදු නෙළුම් මලකුත් දරාගෙන ඉන්නවා. ඒ ඇතාගේ හොඬ වැලෙත් සුදු නෙළුමක්‌ තියෙනවා. එහෙම නම් ස්‌ථීර වශයෙන්ම නෙළුම් මල් මුනි පුදට බව හිතන්ට පුළුවන්.

සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහාමුදුරුවෝ සමනල කන්දට වැඩිය බව කව්රුන් පිළිගන්න, ඒ වගෙම විහ්වාස කරන අදහසයි. ඒක සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ තුන්වැනි ලංකා ගමනෙදියි. ඊට පෙර බුදුහාමුදුරුවො ලංකාවට වැඩපු අවස්‌ථා දෙකේදීම සුමන සමන් දෙවියන් ඒවට සහභාගි වුන බවත් කියනවනෙ. දෙවෙනි වර ලංකාවට වැඩියෙ චුලෝදර මහෝදර නාරජවරුන්ගේ යුද්දෙ සමථයකට පත් කරන්ටනෙ.

සමනල කන්ද මුදුනට ගිහිල්ලා එහි තිබෙන සිරිපතුල වන්දනා කිරීම ලේසි කටයුත්තක්‌ නොවන බව එදා බුදුහාමුදුරුවොත් දැකල තියෙනවා. ඒ පාර ඒ සියල්ලම බලාගෙන, සමනල කන්දට එන බැතිමතුන් රැක දෙන බවට සමන් දෙවියො පොරොන්දු වෙලත් තියෙනවා. සමනල අඩවිය වගේම කන්ද උඩරට හා බින්තැන්නට යනකං මහවැලි ගං තීරය දිගටත් සමන් දෙවියන්ගෙ තෙද බල පැතිර තිබෙන බව විශ්වාස කරනවා. උඩරට වගේම කොත්මලේ ඉන්න ගොවියන්ගෙත් විශාල ගෞරවයක්‌ සමන් දෙවියන්ට තියෙනවා.

ශ්‍රීපාද මළුවේ තමා සුමන සමන් දේවාලය තියෙන්නේ. දෙවන පැරකුම්බා රඡ්ජුරුවන්ගේ කාලෙ දේවපතිරාජ කියලා ඇමැතිවරුයෙක්‌ හිටියලු. මොහු එදා සමන් දේව රූපයක්‌ හදලා පූජා කළ බවයි කියන්නේ. ඒක හදල තිබුණෙ සඳුන් ලීයෙන්. සිරිපා වන්දනාව පටන් ගන්නේ උඳුවප් මාසෙන. අවාර කාලේ, ඒ කියන්නෙ සිරිපාදෙට වන්දනාවේ නොයන කාලෙදී මේ සමන් දෙවියන්ගේ ප්‍රතිමා ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරෙ තමා තැන්පත් කරල තියෙන්නේ. වන්දනා කාලෙට ඒ ප්‍රතිමා සිරිපාදෙට වඩම්මවනවා. ඒකට කියන්නේ දෙවිහාමුදුරුවන් වැඩම වීම කියලා අද පැල්මඩුල්ලේල ගල් පොත්තාවල විහාරෙ ඉඳලා පෙරහැරකුත් එනවා.

පෙරහැර මළුවට ආවට පස්‌සේ උඳුවප් පෝය දවසෙ පාන්දර පූජාවල් එහෙම සිද්ධ කරනවා. දේවාලය පවිත්‍ර කරලා එහි පූජා වස්‌තු තැන්පත් කරනවා. මේ සමගම දොළොස්‌ මහේ පහණත් දල්වනවා. පෙරහැරෙන් වඩමවා ගෙන ගිය කොත සමන් දේවාලයෙ වහලෙ මුදුනෙ පළඳවල තියෙනවා. ඊට පස්‌සේ මාස හයක්‌ම පූජා පවත්වල සමන් දෙවියන්ව සිහි කරනවා.

සිරිපා මළුවෙ දේව පූජාවට අමතරව බුද්ධ පූජාවකුත් කෙරෙනවා. කෙම්මුර දවස්‌ලට (බදාදා, සෙනසුරාදා) මළුවේ ඉන්න සියලු දෙනාම ටික වෙලාවක්‌ ඉවත් කරලා සිරිපාද පත්මය සුවඳ පැන්වලින් ධෝවනය කරනවා. ඒ සඳහා පැන් කළ හතක්‌ ගන්නවා. ඊට පස්‌සේ සමන් දේවාලෙත් පිරිසිදු කරනවා. මුළු මළුවම සුවඳ ජලයෙන් සෝදා සඳුන් මුසු කිරි පැන් ඉහිනවා. ඊට පස්‌සේ තමයි බැතිමතුන්ට එන්ට අවසර ලැබෙන්නේ. සිරිපාදෙ තේවාව බාර වෙලා තියෙන්නේ හාමුදුරුවන්ට. උන්වහන්සෙල උදේ සවස දෙකටම පිරිත් දේශනා කරනවා. සමන් දෙවියන්ට පූජා පිණිස පැවැත්වෙන පෙරහැරවල් දෙකක්‌ තියෙනවා. එකක්‌ තමා සබරගමුවෙ මහ සමන් දේවාලෙ කෙරෙන පෙරහැර. අතින් එක මහියංගණේ. සබරගමුවෙ ජනතාව සමන් දෙවියන්ට පූජා කරන්නේ මතු බුදුවන බෝසත් කෙනෙකු විදිහට සළකලයි. ඒ නිසාම සමන් දෙවියන් අනෙක්‌ සියලුම දෙවියන්ට වඩා විශේෂත්වයක්‌ ගන්නවා.

සිsරිපාද කඳු මුදුනට ගිහිල්ලා අවට බලද්දී පේන දර්ශනය හරිම ලස්‌සනයි. ඒක දෙවියන් වැඩ වාසය කරන භූමියක තිබෙන විශේෂත්වය කියාපාන දසුනක්‌. බුදුහාමුදරුවෝ විවේක සුවයෙන් ගත කළ “භගවා ලෙන” නැත්නම් දිවා ගුහාව මුලදී සමන් දෙවියන්ට අයිති එකක්‌ වෙන්ට ඇති. ඒaත් දැන් එය බුදුහාමුදුරුවන්ගෙ පාරිභෝගික වස්‌තුවක්‌. සැළලිහිණි සංදේශය ලියපු ශ්‍රී රාහුල හිමියන්, සමන් දෙවියන් සුරංගනාවියන් පිsරිවරා ගෙන මදාරා හා පරසතු මල් රැගෙන මේ සිරිපාදයට වන්දනා කරපු ආකාරයත් වර්ණනා කරනවා. මෙයින් පේන්නෙ සමන් දෙවියන්ගේ නොබිඳෙන චාරිත්‍රයක්‌ වෙලා තියෙන සිරිපා වන්දනාවයි.

සිංහල බෞද්ධයන් තුන් සරණේ ගුණ ගයමින්, සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ වැඳලා බහිනවා වගේම හින්දු බැතිමතුන් බ්‍රහ්ම, විෂ්ණු, ශිව කියන ත්‍රිමුර්තිය හිසේ දරාගෙන සමනල කන්දට නගිනවා. හින්දූන්ට අනුව එහි තියෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි. කතරගම දේවාලය හා සම්බන්ධ රජවරුන් හිටිය වගේම සිරිපාදෙ වඳින්නට ගිය සිංහල රජවරුන් ගැනත් සඳහන් වෙනවා. අපේ රජවරුන් කීප දෙනෙක්‌ම සිරිපාදෙ වඳින්ට ආපු බව සඳහන් වෙනවා.

පළමුවන විජයබාහු රජතුමා සිරිපාදෙට ගම්වරත් පූජා කරල තියෙනවා. සමහරු ජනතාවට යන්න පහසු විදිහට පාර එහෙම වැඩි දියුණු කරලත් තිබුණා. මහගිරි දඹේ ගල්පඩි හදලා, දම්වැල් එහෙමත් දාලා දීලා තියෙනවා. විජයබාහු රජතුමා පොලොන්නරුවේ හිටිය ශ්‍රේෂ්ඨ රජෙක්‌. මේ රජු රට එක සේසත් කරලා ඉවර වෙලා සිරිපාදෙට ආපු බවයි සඳහන් වෙන්නේ. මේ කතාව දුටුගැමුණු කතරගමට කළ පූජා උපහාර සිහිපත් කරනවා. එහෙම නම් එදා අපේ රජවරුන් තම සුවිශේෂ විජයග්‍රහණය සිහිපත් කරන්ට මේ ස්‌ථාන තෝරා ගත්තේ. ඒ දෙවියන්ගෙ ආනුභාවයත්, බුදු ගුණත් සිහි කරලා වෙන්ට ඕනෑ. මේ සිරිපාද සටහන මේ කපේදී පහළ වූ කකුසඳ, කෝණාගමන, කස්‌සප, ගෞතම යන සිව් බුදුවරුන්ගෙම් පා පියුම් ලාංඡනය බවත් විජයබා රජු අදහස්‌ කළාලු. හැබැයි එතකොට සමන් දෙවියන් පිළිබඳ ප්‍රවාදයට පදනමක්‌ නැති වෙන බවත් සමහරුන්ගේ අදහසයි.

ඒ මොනව උනත් සිරිපාදෙත් එක්‌ක දැඩි සබඳතාවක්‌ තියෙන්නේ සුමන සමන් දෙවියන්ට තමා. හැබැයි සමන් දෙවියන් පැහැදිලිවම බෞද්ධ දෙවි කෙනෙක්‌ ලෙසයි කැපී පෙනේනේ. කලින් කලට එක එක ජනප්‍රවාද සිරිපාදෙටයි, සමන් දෙවියන්ටයි එකතු උනත් ඒ කිසිම දේකින් සමන් දෙවියන් සබරගමු පළාතට විතරක්‌ සීමා වෙන්ටත් විශේෂ හේතුවක්‌ උනේ සිරිපාදෙම බවයි. සමාජ විද්‍යාඥයන්ගේ අදහසත්. සිරිපාද වන්දනාව අදටත් සලකන්නේ ඉතා දුෂ්කර ගමනක්‌ විදිහටයි. සමන් දෙවියන්ගේ ප්‍රධානම කටයුත්ත ඒ වන්දනා සමයට එතෙන්ට ඇඳෙන ජනතාව රැක බලා ගැනීම. නැත්නම් ඔවුන්ට පිහිට වීම. ඒ හින්ද තමයි හාපුරා කියලා, එහෙම නැත්නම් කිරිකෝඩුවෙන් සිරිපාදෙ යන අයට හුඟාක්‌ම කට පරිස්‌සම් කර ගන්ට කියන්නෙත්. ඒ වගේම සිරිපාදෙ හින්දු ආධිපත්‍යයක්‌ නැති බෞද්ධ ආධිපත්‍යයට නතු වූ පූජනීය ස්‌ථානයක්‌ බවත් කියන්නට ඕනෑ.

සිරිපාදෙ වැඩ හිටියත් සුමන සමන් දෙවියන්ගේ ප්‍රධානම දේවාලය තියෙන්නේ රත්නපුරේ. මේ දේවාලය හදලා තියෙන්නෙත් පරාක්‍රමබාහු රජතුමාගෙ සෙනෙවියෙක්‌ බවයි කියන්නේ. ඒ සමන් දෙවියන්ට කරපු බාරයක්‌ ඉෂ්ට කරන්නට. පස්‌සේ කාලෙකදි මේවට සතුරු ආක්‍රමණත් එල්ල උනා. කොහොමහරි අද රත්නපුරේ සමන් දේවාලෙට බාර වෙන්න බාරඔප්පු සිද්ධ කරන්ට ජනඟක්‌ එන බවත් කියන්ට ඕනෑ. රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරිකයො වගේම දරුවන් ප්‍රාර්ථනා කරන අයට, ඒ මව් පදවිය ලබා ගන්නටත් සුමන සමන් දෙවියන් පිහිට වෙන බවට විශ්වාසයක්‌ තියෙනවා. සමන් දේවාලෙට එන බැතිමතුන් සිරිපාදෙ කන්ද දිහාට නමස්‌කාර කරල තමයි දෙවියන්ට පූජා පවත්වන්නේ.

ශ්‍රීපාද අඩවියේ හාස්‌කම්

සමන් දෙවියන් අරක්‌ ගත් ශ්‍රීපාද අඩවියේ විදුහල්පතිවරයකු ලෙස අවුරුදු හයකට කිට්‌ටු කාලයක්‌ සේවය කිරීමෙන් ලද අත්දැකීම් කිහිපයක්‌ මෙහිදී හෙළි කෙරෙයි. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්‌කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේද විදුහල්පති ලෙස දැනට අවුරුදු විසිපහකට පමණ පෙර මම සේවය කළෙමි. ශ්‍රීපාදයේ ඉතිහාසය, පරිසරය, ගුප්ත සැඟවුණු තොරතුරු අළලා “පූජනීය ශ්‍රීපාදය” නමින් ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ පළකිරීම සඳහා ශ්‍රීපාද අඩවියේ සැමතැනම ඇවිදිමින් කරුණු සොයමින් අත්දැකීම් බහුල අය සමඟ සාකච්ඡා කරමින් මම අවුරුද්දකට වැඩි කාලයක්‌ ඒ ගැන වෙහෙසුණෙමි. රජයේ නිලධාරීන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, අවට තේ වතුවල සේවය කළ අය, ශ්‍රීපාදයට අවාරයේ යන එන අය හා ශ්‍රීපාදයේ මුරකරුවන් සමඟ එහිදී මම කතාබහ කළෙමි. සමන් දෙවියන් ලංකාවේ මුල් යක්‌ෂ ගෝත්‍රික අධිපතියකු බව පෙනී යයි. සමන් දෙවිඳු ලාංකික වංශකතාවලට අනුව බුදු හිමිගෙන් බණ අසා බුදු හිමිගෙන් කේශධාතු ලබාගෙන මුලින්ම මහියංගණ දාගැබ ඉදිකළ අතර බුදුහිමි තුන්වැනිවර ලංකාවට වැඩිවිට ශ්‍රීපාද කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහිටුවීමට ආරාධනා කළේය. බුදුහිමිගෙන් බණ අසා සෝවාන් වූ සුමන සමන් දෙවි මරණින් පසු දේවත්වය ලැබ සමනල කන්ද මුදුන හා ශ්‍රීපාද අඩවියට අරක්‌ ගෙන සිටියි. සමන් දෙවිඳුගේ වැඩිමහල් සොයුරියවූ “මහ ලොකු” යක්‌ෂ ස්‌වරූපයෙන්ම මහියංගණ අඩවියේ පුද ලබයි. කිරි අම්මා පිදීමේදී මහලොකු කිරිඅම්මා කෙනකු ලෙස පුද ලබයි.

ලංකාවේ ප්‍රධානම සමන් දේවාලය රත්නපුරයේ ඇත. රත්නපුර – කුරුවිට හා හැටන් යන ප්‍රධාන මාර්ග තුනකින් ශ්‍රීපාදයට මාර්ග විහිදෙයි. ඒ හැර තවත් අතුරු මාර්ග හයක්‌ පමණ ඇත. අඩි 7,360 උස ශ්‍රීපාද කඳුවැටියට සෘජු සම්බන්ධයක්‌ නැත. එහි මුල් දියත්ත වූ හැටන් ගඟ, හැටන් නගරය ආශ්‍රිත සිංගිමලේ ජලාශයෙන්ද එහිම අනිත් ඉහත්තාව වූ කොත්මලේ ඔයේ මුල් ජල ධාරාව හෝර්ටන් තැන්නෙන්ද උපත ලබයි. වලවේ ගඟ ශ්‍රීපාදයේ එක්‌ බෑවුමක්‌ කෙළවරේ ඇති වලේබඩ සිට ඇරැඹෙයි. කැලණි ගඟ මස්‌කෙළිඔය හා සීතගඟුල ආශ්‍රයෙන් උපත ලබයි. රත්නපුර බෑවුමෙන් කළු ගඟ ඇරැඹෙයි. අතීත යුගයේ ශ්‍රීපාද කන්ද විදාරණව අක්‍රිය වූ යමහලක්‌ ලෙස සැලකෙයි. ශ්‍රීපාදය වර්ණණනා කරමින් ලියෑවුණු “පාලි සමන්තකූඨ වණ්‌නා” කාව්‍ය අනුව ශ්‍රීපාද අඩවියේ සියලු ගස්‌වැල් ශ්‍රීපාද පද්මය දෙසට නැමී ඇති බව කියෑවෙයි. ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පසළොස්‌වකින් ඇරැඹී වෙසක්‌ පසළොස්‌වකින් නිමවෙයි. ඉතිරි හය මාසය අවාරයයි. තද වර්ෂාව, සැඩ සුළං, චණ්‌ඩ කුණාටු, පියගැට දිගේ ගලා එන දැවැන්ත ජලධාරා, දැඩි සීතල, බියකරු අකුණු ගැසීම්, ගස්‌ගල් කඩාවැටීම්, රුදුරු වන සතුන් නිසා අවාරයේ ශ්‍රීපාද යැම එදා සිදුවූයේ නැත. එහෙත් අද අවාරය කල වුව ශ්‍රීපාදයට යන අය නැතුවා නොවෙයි. සීතගඟුල අසල සාම චෛත්‍ය ඉදිවූ පසු එහි යන එන පිරිස වැඩිවූ අතර විදේශිකයෝ අවාරයේ ශ්‍රීපාද නඟිති. අද ශ්‍රී පාද මායිම මකර තොරණයි. ක්‍රි. ව. 1950 ශ්‍රී පාදයට විදුලි බලය දීමේ සිහිවටනයක්‌ ලෙස මකර තොරණ ඉදිවිය. ප්‍රධාන මාර්ග තුනේම ස්‌ථාන නාම කීපයක පොදු බවක්‌ ඇත. ශ්‍රී පාද අඩවිය මැණික්‌ බහුලය. වර්ෂාව සමඟ සේදී එන මැණික්‌ ජලධාරා දිගේ පහළට එයි. මස්‌කෙළිඔය ඇරැඹෙන අප්කොට්‌ හෙවත් ගවරවෙල කඩමණ්‌ඩිය නුදුරුව ඇති ස්‌ට්‍රෙස්‌පි වතුයාය පටන්ම ගවරවෙල අඩවිය මැණික්‌වලට ප්‍රසිද්ධය. ශ්‍රීපාදය කඳු මුදුනින් ගලා එන මහ සීත ගඟුල හා කුඩා සීත ගඟුල සීතගඟුලේදී එකට එකතු වෙයි.

වන්දනා කාලයේදී නල්ලතන්නිය (ඩෙල් හවුස්‌ හෙවත් සීතගඟුල කඩමණ්‌ඩිය) රෑ දවල් වන්දනාකරුවන්ගෙන් පිරී යයි. අවාරය සමඟ නල්ලතන්නිය කඩමණ්‌ඩියේ සමුපකාරය, උප තැපැල් කාර්යාලය හැර මුළු කඩමණ්‌ඩියම හයමාසයක්‌ වැසී යයි. නල්ලතන්නි සිට මකර තොරණ දක්‌වා සියල්ල පාළුවට යයි. මකර තොරණ දක්‌වා විහිද ගිය තේවතුවල කම්කරුවෝ දැඩි වර්ෂාව , හීතල හා පින්න මැද තේවතුවල වැඩ කරති. එක දිගට දින ගණනක්‌ වැසි වැස අඳුර ගලා යයි. තද සීතලට ඇඟ වෙව්ලයි. අවාරයේ නල්ලතන්නි කඩමණ්‌ඩියට පවා දිවියා එයි. මකර තොරණ අවට වන සත්තු නිදැල්ලේ ඇවිදිති. වන්දනා කාලය තුළ ඈත කැලෑරොදවල්වල ගැවසෙන ශ්‍රීපාද අඩවියේ කුරු අලි රංචු ඒ කාලවල වැඩිපුර ගැවසෙන්නේ සප්ත කන්‍යා කඳු පාමුල හා අවට ප්‍රදේශවලය. කලකට පෙර මාටින් එගර් ගුවන් යානය මුස්‌ලිම් වන්දනාකරුවන් සමඟ මේ කඳුවැටියේ හැපී විනාශ විය. අවාරයේ මේ කුරු අලි රංචු හා එයට එක්‌වන වෙනත් අලි පටු පියගැට පෙළ දිගේ ශ්‍රීපාද පද්මය මුදුනට පවා ගමන් කරති. සාම චෛත්‍යයේ ජපන් භික්‌ෂූන් හිරු උදාව සමඟ රබන් වයමින් ස්‌තෝත්‍ර කියමින් දිනපතා ශ්‍රීපාද කන්ද තරණය කරති. ක්‍රි. ව. 1978 පමණ කල එහි නායක පදවිය දැරූ වයස අනූහතර පිරුණු තිච් දත්සු පුජී හිමි පවා ශ්‍රීපාද පද්මය නැඟීම සිරිත විය. අසීරුම තැන්වලදී ඒ හිමියන්ට සහාය වීමට උදව්කරුවන් කීප දෙනකු විය.

අද සාම චෛත්‍ය ඇති ස්‌ථානයේ මුල් කල තිබුණේ මඩම අම්බලමයි. පොළොන්නරු කල ගිනිගත්හේන අඹගමුව ශ්‍රීපාද හිමයේ ආරම්භක සීමාව වූ බව අඹගමු ශිලා ලිපියෙන් පෙනෙයි. එදා හඟරාපිටිය හරහා ගිය වන්දනාකරුවන් රෑ නැවතුණේ අලින්ගේ හොඬවැලට වඩා උසින් ගල්කුලුනු උඩ ඉදිකළ අම්බලම් හෙවත් මඩම්වලය. වල් සතුන් ඒම වැළැක්‌වීමට හා සීත දුරලීමට ඒවායේ දැවැන්ත ගිනිමැල රාත්‍රිය පුරා දල්වා තිබුණි. ක්‍රි. ව. 1950 විදුලිබලය දීමට පෙර වන්දනාකරුවෝ ශ්‍රීපාද නැඟීමට අවශ්‍ය හුළුඑළි නිවෙස්‌වල සිටම රැගෙන ආහ. සමහරු විදුලි පන්දම් භාවිතා කළහ. අද මස්‌කෙළිය ජලාශයට යටවී ඇති පැරණි “ගඟේවත්ත” කඩමණ්‌ඩියේ කඩපිල්වල එදා මේ හුළුඑළි හුළු අතු විකිණීම සඳහා තබා තිබුණි. විදේශිකයන් තනිව හෝ දෙතුන් දෙනා අවාරයේ ශ්‍රී පා නඟිති. හිතුවක්‌කාර තරුණ ගැටව් කීප දෙනෙකු එකතුවී අවාරයේ ශ්‍රී පා යති. නේපාලයේ අවුරුදු දහසයක්‌ යෝගී පුහුණුව ලැබූ මහරගම දිසානායක නමැති අයෙකු අවාරයේ ශ්‍රී පා නැඟීම පුරුද්දක්‌ ලෙස කරයි. ක්‍රි. ව. 1978 ඔහු මට හමුවන විට අවාරයේම තනිව 108 වතාවක්‌ ශ්‍රී පා නැඟි බව කීවේය. අවාරයේ ස්‌වාභාවික විපත් හා කරදර සමඟ ජලනළ හා විදුලිබලයද නොමැත. කිසිම කඩපිළක්‌ නැත. ශ්‍රීපාදය මුඳුනේ අවාරයට සිටිනුයේ මුරකරුවන් දෙදෙනා පමණකි. දෙසතියකට වරක්‌ අයෙකු රැඳී සිටියදී අනෙකා කිට්‌ටු කඩ මණ්‌ඩියට පයින්ම ගොස්‌ හාල්, කෑම බීම රැගෙන අඳුර වැටීමට පෙර ආපසු ඒම සිරිතයි.

මුරකරුවන් දෙදෙනාට අවාරයේ තනිව දැඩි අපහසුකම් මැද ජීවත්වීම හුරුවී ඇත. විශේෂයෙන් පසළොස්‌වක දිනවල ශ්‍රීපාද මළුවේ පෙරහැර යන හඬ, බෙර හඬ, සක්‌ හඬ, ඔවුහු නිතර අසති. ඒ දේව හාස්‌කම්ය. නාස්‌තුඩු විනිවිද යන තියුණු මල් සුවඳ මළුව පුරා පැතිර යයි. සාදුකාර හඬ පරිසරය ගිඟුම් දෙමින් හදිසියේ පැතිර යයි. ඒ දෙවියන් ශ්‍රීපාද පද්මයට වඳින පුදන විට මුරකරුවන්ට දැනෙන ඇසෙන දේය. වරක්‌ මුරකරුවෙකු මා සමඟ කීවේ ඔහු හාල් තුනපහ මල්ල කර තබාගෙන තනිව එනවිට තනිව ආ අයෙකු ඊට මොහොතකට පෙර සතෙකුගේ ප්‍රහාරයකට ලක්‌ව මැරුම් කා පාර අද්දර වැටී සිටි බවයි. හැටන් පාරේ මකර තොරණට තවත් ඉහළින් තේ වතු හිමියන්ගේ අධි සුඛෝපභෝගී සියලු පහසුකම් ඇති වතු බංගලා කීපයක්‌ ඇත. මකර තොරණ සිට සාම චෛත්‍ය දක්‌වා කුඩා වාහන ගමනාගමනයට පාරක්‌ කපා ඇත. වන්දනා කාලයේදී පද්මයට එකතුවන කාසි හා නෝට්‌ටු ගෝනිවල බැඳ කර තබාගෙන කුලීකරුවෝ මස්‌කෙළිය බැංකු=වට ගෙන එති. එක්‌ එක්‌ කාසි වර්ග කර කිලෝවක බර ගණනය කොට ඒ බර අනුව මුදල් බැංකු ගත කරයි. ශ්‍රීපාද අඩවියේ ඇති ගුප්ත රහසක්‌ වනුයේ දිවාගුහාවයි. අවුරුදු ගණනාවක්‌ පුරා පර්යේෂකයන් වන්දනා නඩ දිවා ගුහාව කොහිදැයි සොයමින් සිටිති. ශ්‍රීපාද පද්මය එක එල්ලේ පාමුල පිහිටි කුරුවිට බටතොට ලෙන දිවා ගුහාව විය යුතු බව එහි පිහිටීම හා ලක්‌ෂණ අනුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ අදහස්‌ පළ කළහ. ශ්‍රී පාද අඩවියේ ගල්ලෙන්වල වාරය, අවාරය නොතකා තනිව භාවනා වඩන චාම් අල්පේච්ඡ ජීවිත ගත කරන භික්‌ෂූන් හා ගිහි අය ගැන කතා පැතිර ඇත. ශ්‍රීපාද පද්මයේ සිට විහිදී යන අනන්ත ගැඹුරු ප්‍රපාතයට මෙවැනි භාවනායෝගී භික්‌ෂූන් එකවර පෙනී සිට අතුරුදන් වන බව කියෑවෙයි. ඒ කතා සත්‍ය නම් ඔවුන් කිසියම් ධ්‍යාන බලයක්‌ උපදවා ගත් අය විය යුතුය.

නල්ලතන්නියේ සිට රිය පෙරහැරින් ගෙන ආ සමන් දෙවිරුව ගල්පියගැට දිගේ ඉහළට දැන් දෝලාවකින් වැඩමවයි. කලකට පෙර ඒ වැඩම කළේ ආවතේවකරුවන්ගේ කරපිටිනි. අවාරයේ පිරිසිදුව ගලන සීත ගඟුලෙ ජලයෙන් සමන් දෙවිරුව චාරිත්‍රානුකූලව පවිත්‍රකර පූජා පවත්වා පත්මයේ දේවාලයට වැඩමවයි. වරක්‌ සමන් දෙවිරුව නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පද්මයට කරපිටින් වැඩම වනවිට වෙහෙසට පත් ආවතේවකරුවෝ වසා තිබූ කඩපිළක මැස්‌සක්‌ මත දේව රූපය තබා මඳක්‌ වෙහෙස නිවා ගත්හ. පැහැදිලිව තිබූ අහස එක්‌වරම කළුවරවී මාදං ගෙඩියක පාට ගත්තේය. ඒ සමඟ බිහිසුණු සුළඟක්‌ හමන්නට විය. ඒ අසලින් පොළොව යට ගුහාවකින් කළු දෙබරු මතුවී හාත්පස පරිසරය වසා ගත්හ. කිසියම් බලවත් වරදක්‌ සිදුවී ඇති බව කපුරාලට අවබෝධ විය. හේතුව සොයනවිට කරවල තිබූ කඩ බක්‌කියක්‌ මත දේව රූපය තබා ඇති බව හෙළි විය. වහාම කපුරාල දෙවියන්ට කන්නලව් කොට කහවතුර හා දෙහි යොදා දෙවි රුව සෝදා පවිත්‍ර කළ පසු අඳුර හා වර්ෂාව ක්‍රමයෙන් දුරු විය.

අහස වසා සිටි කළු දෙබරු නොපෙනි ගියහ. ශ්‍රීපාද මළුව පටුය. කුඩාය. එහෙත් කොපමණ වන්දනාකරුවන් ආවත් ඒ කුඩා ඉඩකඩ තුළ දේව හාස්‌කමකට මෙන් දැඩි තදබදයක්‌ ඇති නොවෙයි. එයට හේතුව සමන් දෙවියන්ගේ බැල්ම බව විශ්වාසයයි. සීත ගඟුලෙන් දිය නා හෝ මුහුණකට සෝදා පවිත්‍රව පඬුරු ගැට ගසා භක්‌තිය ඇතිව ඉහළට කරුණා කරන අයට සමන් දෙවි රැකවරණය ඇල්ම, බැල්ම, කරුණාව ලැබෙන බව විශ්වාසයයි. කට වැරදීම්, වාචාල කතා, අවිනීත හැසිරීම්වලට දඬුවම් ලැබෙයි. නඩයෙන් වෙන්ව ඉබාගාතේ උමතුවෙන් මෙන් ඇවිද්දවයි. ඒ දේව දඬුවම්ය.

එමෙන්ම ශ්‍රීපාද හිමයේ මංමුළා වැල් පෑගුණු විට දින දෙක තුනක්‌ පාර වැරදී පිපාසිතව සිහිය නැතුව ඇවිදීමට සිදුවෙයි. ශ්‍රීපාද අඩවියේ කැලෑව මේ මංමුළා වැල් ශාකය ඇති බව කියෑවෙයි.ගිනිගත්හේනට නුදුරු සිල් මාතාවක්‌ තවත් සිල් මාතාවක්‌ සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගියහ. වෙහෙසට පත්වූ සිල් මාතාවන් පියගැට පෙළේ මඳක්‌ වාඩිවී ගිමන් හැරියාහ. පාද දෙකම ඉදිමී තුවාලවලින් දෙකකුල් වැසීගිය මහල්ලෙක්‌ සිල් මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නඟිමින් නායක සිල්මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවන්ට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහලු තුවාලකරු කවදා කෙසේ ශ්‍රීපාදය නඟින්නදැයි සිල් මාතාවන් පිළිකුලෙන් කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පිටත්වූ සිල්මාතාවන් තවත් සැතපුම් දෙකක්‌ පමණ ඉහළට ගොස්‌ පියගැට පෙළේ වාඩිවී දෙවන වරට විවේක ගත්හ. තුවාල පිරීගිය කකුල් ඉදිමුණු අර මහලු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසුකරමින් නායක සිල්මාතාවගේ හිසට අත තබා කතා කළේය.

රෝගී මහලු මිනිසා මේ ස්‌ථානයට පැමිණි හැටි ඔවුන්ට පුදුමයක්‌ විය. විවේකය නිමාකොට යළිත් ගමන ඇරැඹූ සිල් මාතාවන් මහගිරි දඹය අසල තුන්වැනි වරට නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා තුන්වැනි වරට ඔවුන් පසු කරමින් නායක සිල්මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්‌මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුන්ට ගැටලුවක්‌ විය. ශ්‍රීපාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදාවනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. නායක සිල් මාතාවගේ මුහුණට එක්‌වරම අමුතු ආලෝකයක්‌ පතිත විය.”දරුවා, මං උඹට තුන් වරක්‌ කතා කළා මතකද?”ඒ හඬ ආ ආලෝකය අතුරුදන් විය. නායක සිල් මෑණිය හා ඇගේ පිරිවර උතුරා යන භක්‌තියෙන් ශ්‍රීපාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.රටේ විපත්ති – ආපදා – පෙරළි ඇතිවන අවස්‌ථාවක ශ්‍රීපාද අඩවියෙන් පෙර නිමිති පහල කරයි.

වරක්‌ මෙසේ ශ්‍රීපාද අඩවියේ පැතිර ගිය ගින්නක්‌ නිවා දැමීමට හෙළිකොප්ටර් යානා යෑවීමට සිදුවිය. ක්‍රි. ව. 1977 මැතිවරණයට පෙරදා සිට හා මැතිවරණ දිනය වනතුරු එක දිගට ගස්‌ කොළන් කඩා වැටී දින ගණනාවක දැඩි සුළඟක්‌ හා චණ්‌ඩ මාරුතයක්‌ පැතිර ගියේය. මෙවැනි හදිසි දේශගුණික පෙරළි රටේ පෙරළියක පෙර නිමිති බව ප්‍රදේශයේ විසූ අත්දැකීම් ඇති මහල්ලෙකු මට කීවා මතකය. තද සීතල සහිත දේශගුණයට හුරුවූ විට ඒ තුළ ලෙඩ රෝග බෙහෙවින් අඩු ජීවිතයකට පදනම වැටෙයි.

උපුටාගැනීමකි 🙏🙏 

No comments