Header Ads



ගෙදර ඉන්න ගමන් හදන්න රසම රස ටොෆි රෙසිපි 5ක්

 ගෙදර ඉන්න ගමන් හදන්න රසම රස ටොෆි රෙසිපි 5 ගෙනාවා🍡🍬🍡



1.අල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 250
වතුර අඬු කෝප්ප 1/4
තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 250
එනසාල් ඇට 2ක්
කලරින්ග් බිංදු ​දෙකක් (කැමති පාටකින්)
වැනිලා තේ හැන්දක්


භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට කලවම් කරන්න. සීනි දියවේගෙන එනකොට හොඳට පොඩි කරගත් අල ටික දාන්න. එනසාල් ඇට දෙකත් එකතු කරන්න.
හැන්දෙන් හොඳට කලවම් කරන්න තලපයක් වගේ වෙනකල්. ගින්දර වැඩි කරගන්න එපා. දැන් කලරින් ටිකක් එකතු කරලා වැනිලා ටිකත් දාගන්න.
තෙත ගතිය හිඳෙනකල් හැඳිගාලා බටර් ගාගත්තු තැටියකට දාලා කෑලි කපා ගන්න.


2. කිරි ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
මිල්ක්මේඩ් ටින් එකක් (395 ml)
මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර
මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි 1
බටර් මේස හැන්දක්
පොඩියට කපාගත් කජු ටිකක්


භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටි​ක දාන්න. සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න. සීනි දියවෙනකල් හො​ඳට හැඳි ගාන්න. විනාඩි 10ක් වගේ යනකොට මිශ්‍රණය උකුවේගෙන එනවා. අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න. ගින්දර ගැන නම් ගොඩක් සැ​ලකිලිමත් වෙන්න ඕනේ.
පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න. හොඳට ඝන මිශ්‍රණ​යක් හැදුනම ලිප ඕෆ් ​කරන්න. බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න. (මොකද මේක ඉක්මනින් හයි වෙන නිසා මේ පියවර ටික ටිකක් ඉක්මනින් වෙන්න ඕනේ. උණුවෙන්ම ඉරි ඇ​ඳලා කෑලි කපන්න)


3. රුලං ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 200
බටර් තේ හැඳි 1
කිරි මේස හැඳි 1
වතුර අඬු කෝප්ප 1/2
වැනිලා බිංදුවක්
එනසාල් ඇට කිහිපයක්
ලුණු ටිකක්
කලරින් (කැමති පාටකින්)


මුලින්ම රුලං ටික කබලේ බැදගෙන නිවෙන්න අරින්න.
භාජනයක් ලිපේ තියලා ඒකට සීනි සහ වතුර ටික දාගෙ​න හොඳට කලවම් කරගන්න. දැන් එනසාල් ටික එකතු කරගෙ​න ලුණු ටිකකුත් දාගන්න. සීනි හොඳට දිය උනාම ඇලෙන ගතියක් වගේ එනවා. ඒ පදම ආවම රුලං ටික එකතු කරගන්න.
කැමති පාටකින් කලරින් බිංදුවකුත් දාගෙන හොඳට හැඳිගාන්න තලපයක් වගේ වෙනකල්. දැන් බටර් ටිකයි කිරි මේස හැන්දයි එකතු කරගෙන ත​ව ටිකක් ලිපේ තියලා තෙත ගතිය නැති වීගෙනම එනකොට වගේ ලිපෙන් බාගන්න.
බටර් ගාගත්තු තැටියක දාලා තුනීකරගෙන කෑලි කපාගන්න.


4. වට්ටක්කා ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා පොඩි කරගත් වට්ටක්කා ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 250
වැනිලා ටිකක්
ගාගත් පොල් කෝප්ප 1


පොඩි කරගත් වට්ටක්කා ටික භාජනයකට දාගෙන ලිපේ තියන්න. ඒකට සීනි ටිකත් දාගන්න. සීනි ටික දියවේගෙන එනකොට පොල් ටිකත් දගෙන හොඳට කලවම් කරගන්න. සාමාන්‍ය ගින්දරේ හදන්න ඕනේ. වට්ටක්කා කෑලි තියේනම් හැන්දෙන් පොඩි කරගන්න. වැනිලා ටිකත් දාගන්න.
මේක ටිකක් ඇලෙන ගතිය වැඩි මිශ්‍රණයක්. මේක ගුලියක් වගේ වෙනකොට බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. කෑලි කපන්න කලින් ඉරි ඇදලා තියාගන්න. නිවුනම වෙන් කරගන්න.


5. තල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය
තළ ඇට ග්‍රෑම් 250
ගාගත් පොල් ග්‍රෑම් 200
හකුරු ග්‍රෑම් 500
හාල්පිටි ග්‍රෑම් 200
එනසාල් ඇට 2
ලුණු ටිකක්


මුලින්ම තල ඇට ටික රන්වන් පාට වෙනකල් කබලෙ බැදන් පැත්තකට කරගන්න. හාල්පිටි ටිකත් ඒ වගේම බැදගන්න. හකුරු ටික ග්‍රේට් කරගන්න. පොල් ටිකත් රන්වන් පාට වෙනකල් බැදගන්න.
දැන් භාජනයක් අරන් හකුරු ටික දාලා වතුර කෝප්පයක් දාලා දියකරගන්න. ඒකට එනසාල් ඇට දෙකක්, ලුණු පිංචක් එහෙමත් එකතු කරගන්න.
දැන් මේ හකුරු එක සාමාන්‍ය ගින්දරේ කලවම් කරමින් උණු කරන්න. පැණිපත් වෙනකල් මේක උණු වෙන්න ඕනේ. හැන්දෙන් ගන්නකොට උඩට ඉස්සෙන පදමට ආවනම් හරි. දැන් ලිපෙන් බාලා හොඳට හැඳි ගාන්න.
ඉන්පස්සේ මේකට පොල් ටික දාන්න. ඒත් එක්කම හාල්පිටි ටිකත් දාගෙන හො​ඳට කලවම් කරන්න. අන්තිමට තල ඇට ටික දාගන්න. මේ පියව​ර ටික ටිකක් වේගෙන් වෙන්න ඕනේ. මොකද හයි වෙන්න කලින් තුනී කරගන්නත් එපැයි.
දැන් බටර් ගාගත් තැටියකට දාලා තුනී කරලා ඉරි ඇදගන්න. නිවුනම වෙන්කරගන්න ලේසි වෙන විදියට හදාගන්න.

No comments